Monday, November 5, 2012

පාළුයි ආච්චියේ මට..

ඔයාට මතකද ආච්චි ඉස්සර ඉස්කෝලේ ගිහින් එද්දි අපේ ඉස්කෝලේ ලඟ ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට එනකම්ම වටේම තියෙන කඩවල් වල තියෙන අළුත් ඇඳුම් මෝස්තර මම බලන් එනවා. ඒ ඉතින් වෙන මොකටවත් නෙමේ ඒවා ගැන උජාරුවට මම කියද්දි ඊට ටිකක් හරි වෙනස් කරලා ඔයා  මට මහලා දෙනවා කියලා මම දන්න නිසායි. ඔයාත් හොඳට කඩේ තියෙන ඒවල ඇද පෙන්නනවා. මොකද ඉතින් ඔයා මැහුම්ශිල්පිණියනේ. එන එන මෝස්තරේට ඇඳුම් මහන්න අම්මා සල්ලි නොදෙද්දි සීයාගේ පැන්ෂන් එකෙන් හම්බවෙන එක ඔයා මගේ අත් මිටි මොලවන්නේ ඔයාගේ අනිත් මිනිබිරියන් හය දෙනා රෙඩිමේඩ් ඇඳුම් අඳිද්දි මම විතරක් ඔයාගේ පරණ මැෂිමෙන් මහන ඔයාගේ සුකුරුත්තම් වලට ආදරේ කරන නිසායි. අවුරුදු දහාතුනක් ඉස්කෝලේ ගියා ඒ මුළු අවුරුදු දහාතුනටම මගේ යුනිෆෝම් එක මැහුවේ ඔයායි. ඔයාට මතකද දවසක් ඔයාගේ දණිස් අමාරුයි කියලා වෙන කෙනෙක්ට කියලා මසා ගත්ත ගවුමේ රෑජාමේ වෙනකම් ඔයායි මමයි වැරදි හෙව්වා. අන්තීමට අම්මාගෙන් බැනුමුත් ඇහුවා. මොනවා කරන්නද මම පුරුදු උනේ ඔයාටනේ. ඒත් අද... මමත් ඔයාගේ අනිත් මිනිබිරියන් වගේ රෙඩිමේඩ් ඇඳුම් අඳින්න පුරුදු වෙලා.. 

 උදේ 8.30ට පටන් ගන්න ඉරිදා පූජාවට ඔයා යන්නේ 6.30ට. වෙලාවකට අම්මත් ඔයාට බනිනවා ඒ ඉතින් තරහකට නෙමේ කියලා ඔයාත් හොඳටම දන්නවා. මොකද ඉතින් පාන්දරයාමේ නැගිටන එක ඔයාට හොඳ නැහැනේ. කොහෙද ඉතින් කිව්වාට අහනවායෑ ඔයා ඉතින් එච්චර උදේම යන්නේ ඔයාගේ ආදරවන්තයාව බලන්නනේ. කොහෙද අම්මාලා දන්නේ නැහැනේ අම්මාලට කලින් ඔයා ගිහින් සීයාව බලනවායි කියලා. ඒක ඉතින් දන්නේ මමයි අර පස් කන්දට යට වෙලා සැපට නිදන් ඉන්න සීයයිනේ. 

ඉස්සර පහළ ළිඳෙන් නාන්න හිතුනාම මම නාලා ඉවර වෙනකම් මගේ ළගට වෙලා තනි රකින්නේ ඔයායි. ඉස්කෝලේ ප්‍රොජෙක්ට් හදද්දි පොල් කොළ වලින්, ඔයා මහලා ඉවතලන රෙදි කෑලි වලින් මගේ ප්‍රොජෙක්ට් එකේ මුල් පිටුව හැඩ කරන්න ඔයා හරි සමත්. ඒක දැක්ක ගමන් මට ලකුණු වැටිලා ඉවරයි. ඒක කොපි කරන් මගේ යාළුවෝ ඊලඟ ප්‍රොජෙක්ට් එකට සැරසෙද්දි වෙනදා වගේම අළුත් දෙයක් ඔයා මට හදලා දෙනවා. ඉතින් උන් හැමදාම මගේ කව(ර්) පේජ් එකට පරදිනවා. ඒවා මම කට උල් කරන් ඉස්සර කියද්දි ආඩම්බර වෙන්නේ ඔයා කියලා මම නොදන්නවා නොවේ. 


මට මතකයි මම සාමාන්‍ය පෙළ පාස් උන වෙලේ ඔයා පල්ලි ගිහින් ඔයාගේ යාළු ආච්චිලත් එක්ක හරි ආඩම්බරෙන් කිව්වා මගේ කෙල්ල විභාගේ පාස් කියලා. ඒ උනාට මගේ උසස් පෙළ ප්‍රථිපල බලන්න ඔයාට ඉන්න බැරි උනා නේද ආච්චියේ... ඇයි එච්චර ඉක්මනට මාව දාලා ගියෙ.. 

ඔයා අසනීප වෙලා දවස් තුනයි අපිත් එක්ක උන්නේ. සීයා ඔයාට දුක් විඳින්න ඉඩ දෙන්නේ නැතිව එයා ළඟට ඔයාව එක්ක ගත්තා. ඒකාත් හොඳයි ආච්චි. සියා කලේත් හොඳ වැඩක්. මොකද ඔයාට තිබුනේ පිළිකාවක් ඒක ඔයා දැන ගන්නත් කලින් සීයා ඔයාව එයා ළඟට ගත්තා. ඒත්..... මට ඒ දවස් මතක් වෙද්දි තාමත් දුකයි. මීගමුවේ මූළික රොහලේ ඇඳක් උඩ ඔයා උන්න විදිය මතක් වෙද්දි තාමත් ඇස් දෙකට කඳුළු එනවා. ඒ ඔක්කෝටම වඩා ඔයා මා එක්ක කථාවත් කලේ නෑ මාව දාලා යන්න කලින්. මම දන්නවා ඔයා මා එක්ක තරහින් උන්නේ ඒ මළවුන්ගේ මංගල්‍ය දවසේ සීයව බලන්න මට එන්න බැරි උන නිසා. ඔයා මැරෙනකම්ම ඒක කියෙව්වා කියලා නැන්දා මට කියපු ඒ වචන තාමත් මට ඇහෙනවා වගේ සුදු ආච්චියේ. අනේ ඒ වැරැද්ද මට හදන්න පුළුවන් කමක් තියෙ නම්......  

ඔයා තාමත් අපි අතරේ ඉන්නවා නම් ආච්චි.... ඔයා නැතිව මට ගොඩාක් පාළුයි ආච්චි. කෝච්චියක් වගේ කියවපු මේ කට දැන් වැහිලා.හැම ඕපාදූපයක්ම අහන්න මං ලඟට වෙලා උන්න ඔයා දැන් නැහැනේ. මේ මාසෙට ඔයා මාව දාලා ගිහින් අවුරුදු 3ක් වෙනවා. හැමදාම ඔයාව හීනෙන් පේනවා ඒදා මම දැක්ක හීනේදි ඔයා මාව බදාගෙන ඇඬුවා මම ඔයාව බලන්න ආවේ නෑ කියලා.ඉක්මනට් එනවා සුදු ආච්චියේ ආච්චිව බලලා යන්න. එතකන් මගේ සුදු ආච්චියට ජේසු පිහිටයි.. 

33 comments:

  1. හෆොයි මේක කියවලා මට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඔයාට විතරක් නෙමේ සහෝ.. ආච්චිව මතක් වෙන හැමවෙලේම මටත් දුක හිතෙනවා..

      Delete
  2. ඔයාගේ අච්චිට ජේසු පිහිටයි!අච්චි අම්මට දෙවැනි නැ.සංවේදි කථාවක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. //ආච්චි අම්මට දෙවැනි නෑ..//

      හ්ම්.. ඇත්ත කථාවක් අක්කි.. බොහොම ස්තූතියි..

      Delete
  3. හ්ම්ම්ම්ම් ! සිත්තරාවිගෙ පෝස්ටුව මගෙ ඇස් වලට කඳුළු අරන් ආවා... ආච්චි කියන්නෙ හරියට දෙවෙනි අම්මා වගේ කියලා මම අහලා තියෙනවා. ඒ ආදරේ මට නම් විඳින්න වාසනාවක් තිබ්බේ නෑ. මගේ ආච්චි අම්මා නැති වෙලා තියෙන්නෙ මට අවුරුදු දෙකත් වෙන්න කලින්...

    ආච්චිගේ ආදරේ මතක ඔයා එක්ක හැමදාම තනිරකීවි සිත්තරාවී...හරියට ආච්චි ඔයා ලඟ උන්නා වගේම...

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න ඕනා ළිහිණි අක්කේ ඔයාට කඳුළු එන පෝස්ටුවක් උනාට.

      //ආච්චි කියන්නේ හරියට දෙවැනි අම්මා වගේ//
      ඒ කථාව නම් සම්පූර්ණ ඇත්ත. මගේ හැමදේටම මං ලඟින් උන්නේ එයා තමා. අක්කගේ ආච්චි ගැන මමත් දුක් වෙනවා.

      හ්ම්.. සමහරවිට තාමත් එයාට මාව දැනෙනවා ඇති. ඒ මතක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ ළිහිණි අක්කේ.. බොහොම ස්තූතියි කමෙන්ටුවට ..

      Delete
  4. ඇස් දෙකට කඳුළු ඉනුවා සිත්තරාවියේ... අපේ අත්තම්මා අපිව දාල ගිහිනුත් දැන් මාස 8යි.. :(

    ReplyDelete
    Replies
    1. හ්ම්.. සමාවෙන්න ඕනා Ice අක්කේ ඔයාගේ ඇස් දෙකට කඳුළු ඉනුවට මගේ පෝස්ටුව නිසා..

      අනේ මටත් ඇත්තටම දුකයි ඔයාගේ අත්තාම්මා ගැන.. එයා හොඳ තැනක සතුටින් ඇති.

      Delete
  5. ෂෝක් ආච්චි කෙනෙක්නේ ඔයාට ඉදලා තියෙන්නේ.සිරාවටම දුකයි මට ඒ ආච්චි ගැන.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඇත්තටම ඉෂාන් අයියේ මට උන්නේ ෂෝයිම..... ෂෝයි ආච්චි කෙනෙක්. ඉස්සර මම ඉස්කෝලේ යන්නේ උදේ 7ට ආයේ ගෙදර එන්නේ හවස 6ට. මේ වෙනකම් ඉස්කෝලේ ක්ලාස් එකේ උන හැම කුණු ගොඩම මම ගෙදර ආව වෙලේ ඉඳන් කියවනවා කෝච්චිය වගේ අම්මා කටවහ ගන්න කියලා බනිද්දි අපෙ ආච්චි තමා මගේ පැත්තට කථා කරලා අහන් ඉන්නේ ඒ ඔක්කෝම. කොටින්ම කියනවා නම් එයත් අහන් උන්න දෙයක් නෑ මගේ හිත හදන්න බොරුවට අහන් ඉන්නවා වගේ ඉන්නවා. එයාව මතක් වෙද්දි මටත් දුකායි.. බොහොම ස්තූතියි ඔයාගේ කමෙන්ටුවට .

      Delete
  6. සංවේදී පොස්‍ටුවක් යාළුවේ.දන්නවද එන හැමෝටම යන්න වෙනවා දවසක එයාලට ඔයාට මට අපි හැමෝටම. ඒකට හේතු හදන්න, හැදෙන්න ඕන නෑ. කොහොම උනත් ගෑණු දරුවෝ ගොඩාක් ලැදී ආච්චි අම්මලට. මටත් ඉන්නවනේ චූටි පැටික්කියෙක්. ආච්චි අම්මා ඉන්නවානම් අම්මවත් ඕන නැති ගනන්.

    ReplyDelete
    Replies
    1. //ආච්චි අම්මා ඉන්නවානම් අම්මවත් ඕන නැති ගනන්.//

      අම්මෝ.. මමත් නම් උන්නේ ඒ වගේ තමා. වෙලාවකට හැබැයි ආයේ කථා කරන්නේ නෑමයි කියලා රන්ඬුත් වෙනවා ඒත් ටික වෙලාවයි. එයාත් එනවා මොකක් හරි කෑමක් උස්සන් මාව යාළු කරගන්න, ඒ නැත්තත් මම යනවා බොරුවට හරි කොන්ඩෙ අවුල් කරන් එයාට කියලා පීරවා ගන්න.. ආච්චි අම්මලාත් අම්මාලා වගේ හරි කැමති මිනිබිරියන්ව ලස්සනට අන්දන් පාරේ බැහැලා යන්න. එතකොට ආඩම්බර එයාලටනේ. ඒකනෙ අපේ ආච්චි මට ලස්සන ඇඳුම් මහලා දෙන්නේ

      අනේ ඔයාගේ පැටික්කිට නම් ෂෝයි එයාට ආච්චි ලඟ ඉන්නවනේ ... පොඩි කෙල්ල හොඳට හුරතල් වෙනවා ඇති ආච්චියත් එක්ක..

      අපි හැමෝටම හැමදාම එකටම ඉන්න තිබුනා නම්..

      Delete
  7. සංවේදී ලියවිල්ලක්... හදවතට බරටම දැනුනා... සිරාගෙ ආච්චිත් දිවියලෝකෙ ගියේ මාස 3කට කලින්..

    සිරාගෙ ආච්චි ගැන ලියපු එක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ.. ඔයාගේ ආච්චි ගැන ලියපු ලිපිය මම කියෙව්වා ඒකත් හරිම සංවේදි ලිපියක් එයාටත් මන් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

      Delete
  8. http://siragekamare.blogspot.com/2012/08/blog-post_19.html

    ReplyDelete
  9. අක්කි, මේ පෝස්ට් එක මාව ඇඬෙව්වා. ඒ ඔයාගෙ ආචිචිට ආදරේ හිතිලා වගේම, මගේ ආත්තම්මවත් ඕනේ වෙලා.

    අම්මා නැති මට අම්ම වුණේ අත්තම්මා. තාමත් එහෙමයි. එයා තමයි මගේ අම්මා හැමදාටම. එයාත් කියපු නිසා, මටත් ආස නිසා හොඳට ඉගෙන ගන්න මෙහේ ආවා මිසක් අක්කේ...මට එයාව ගෙදර දාලා එන්න ගොඩාක් අමාරුවුණා. හිත හදාගන්න. කවදාවත් නැති තරමට අද මට ගෙදර යන්න ඕනේ වුණා. මම කරන්නේ මේ වැරැද්දක් නිසා. එයා තනියම දුක් උහුලගෙන ගෙදර ඉන්නකොට...මම මෙහේට වෙලා එයා ගැන නොබලා ඉන්න එක, - ගෙදර තාත්තා හිටියත්..... :(

    තව කිව්වොත් මගෙත් හිත රිදෙනවා, අක්කිටත් දුක හිතෙයි මාව ඇඬෙව්වා කියලා...ඔන්න එහෙම නම් හිතන්න එපා අක්කී...අක්කිත් දන්නවනේ හිත හදාගෙන ළමයෙක්ට පිට රටක තට්ට තනියම ඉන්න තියෙන අමාරුව..

    අක්කිගෙ ආච්චිට ජේසු පිහිටයි කියලා මමත් පතනවා. ඒ වගේ ආච්චියෙක් ලැබුණු අක්කි ගොඩාක් වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. අනේ.. සොරි නංගා ඔයාටත් මගේ පෝස්ට් එක නිසා අඬන්න උනාට හා හා කෝ.. දැන් ළමයා හිනා වෙන්නකෝ.. හි ..:)

      ඔයාගේ අත්තම්මා තනියම ඉන්න එකට නම් මටත් දුකයි ඒත්.... එයාගේ බලාපොරොත්තු ඉටු කරන්න නංගා... එයා ගැන හිතන්නේ නැතුව ඔයාගේ අනාගතේ ගැන හිතන්නේ එයා,ඒ වගේම ඔයාගේ තාත්තා.එයාලා දුක් උහුලන්නේ නෑ ඔයා හොඳට ඉගෙන ගත්තොත්..පුළුවන් හැම වෙලාවකම එයා එක්ක කතා කරන්න එතකොට එයා සතුටු වෙයි..

      මම දන්නවා නංගා පිට රටක ගෑණු ළමයෙක් තනියම ඉද්දි ඇතිවෙන දුක,පාළුව ඒ ගැන මට අමුතුවෙන් කියන්න ඕනා නෑ ඔන්න මමත් තව මුකුත් කියන්නේ නෑ.. නැත්නම් මට බනිවී ඔයාව ඇඬෙව්වා කියලා.. ;)

      ඇත්ත නංගා ඒ වගේ ආච්චියෙක් ලැබුන මම ගොඩාක් වාසනාවන්තයි. ඒ වගේම ඔයාත්. බොහොම ස්තූතියි ඔයාගේ ආච්චිටත් ජේසු පිහිටයි..

      Delete
  10. ආච්චිට ජේසු පිහිටයි.ඒ වගෙම ඔයා මොනවත් හිතන්නෙ නැත්නම් බුදු සරණයි කියලත් කියන්නම්.ඔයා ආච්චිට ගිහිල්ලා කියන්න මං එහෙම කිව්ව කියල.පුළුවන් නම් කාර්යබහුල ජීවිතෙන් චුට්ටි ඉඩක් හදාගෙන රෙඩිමේඩ් අදින එක අඩු කරන්නකෝ.එයා හුගක් සතුටු වෙයි ඔයාම ඔයාගෙ ඇදුම් මහගෙන අදින්න ගත්තොත්.අනිත් එක සතුටින් ඉන්න හැම වෙලාවෙම.ආච්චි කොහොමවත් කැමති වෙන එකක් නෑ ඔයා දුකින් ඉන්නවට.දිව්‍ය ලෝකේ ඉදන් ඔයාගේ හිත දිහා බලාගෙන ඇත්තේ.ඒ හින්දා හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔයා බුදු සරනයි කියලා කිව්වාට අනේ මගේ නම් තරහක් නෑ.. අනිවාර්යෙන්ම එයාව බලන්න ගිය දවසට ඒක මම කියන්නම් ඔයා කිව්වායි කියලා.. :)... හ්ම්... මමම ඇඳුම මහා ගන්නවයි කියන එක නම් ටිකක් අමාරුයි.. එච්චර හොඳට මම මහන්න දන්නෙ නැහැනේ.. :(..හ්ම්... මම දන්නවා එයා මන් දිහා බලන් ඉන්නවා.. ඒක නිසා මම සතුටින් ඉන්නවා..

      බොහොම ස්තූතියි කමෙන්ටුවට .. :)

      Delete
  11. සංවේදියි අක්කේ..මටත් හිටියනම් ඒ තරම් ආදරේ ආච්චියෙක්..
    දුක හිතුනත්..මතකය සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒ මතකය කවදාත් සුන්දරයි. දුක හිතුනට සමාවෙන්න ඕනා..

      බොහොම ස්තූතියි..!!

      Delete
  12. හිතේ යටටම පට්ට විදිහටම වදිනවා මේ කතාව. ගොඩක් සංවේදියි..ඉක්මනට ආච්චි ගාවට යනවට නම් මම කැමති නෑ . මොකද කියලා ඔයා දන්නවනේ !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ ඔයාගේ වචන වලට.. හ්ම්ම් ....ම්ම්ම් දන්නවා දන්නවා ඔයා ඇයි එහෙම කිව්වේ කියලා.. :)

      Delete
  13. මගේ ආච්චිත් නැති උනේ පිළිකාවකින්. මටත් එයා ගැන මතක් උනා පොස්ටුව කියවලා. එය නැති උනේ 2000 දී එතකොට මට වයස 11යි.

    ReplyDelete
    Replies
    1. මටත් ඇත්තටම දුකයි කෝරලේ මහත්තයෝ ඔයාගෙ ආච්චි ගැන... එය දැන් හොඳ තැනක සතුටින් ඇති කියල මම හිතනවා..

      Delete
  14. ඇස් දෙකට කඳුළුත් ආවා යාළුවේ මේ පෝස්ට් එක දැකලා.... ඒත් එක්කම මගෙ ආච්චිවත් මතකෙට ආවා..... මාත් පොඩි කාලේ අපේ ආච්චි එක්ක සෙල්ලම් කරනවා..... එක එක දේවල් මහනවා.... කතා කියා දෙනවා... මාත් උසස් පෙළ කරන කොට තමා ආච්චි අපිව දාලා ගියේ......

    ReplyDelete
    Replies
    1. මුලින්ම සමාව අයදිනවා යාළුවේ මගේ පෝස්ටුවට ඔයාගේ ආච්චිව මතක් වෙලා ඇස් දෙකට කඳුලක් එකතු උනාට. අපේ ආච්චිත් ඔය වගේම තමා.

      ස්තූතියි මේ පැත්තට ආවට දිගටම එන්න හොඳේ..:)

      Delete
  15. හර්ෂණ දිසානායක කියන සින්දුවක් තියෙන්නේ
    දියබෙරලිය දළු කියල .. ඒක අහන්නකො අහල
    නැත්නම් .නෙට් එකේ නැත්නම් කියන්න එවන්නම්
    . මට නම් ඔය අද්දැකීම් නැහැ , දෙපැත්තේම
    අයගෙන් දැක්කේ එක ආච්චි කෙනෙක් විතරයි . එයත්
    මන් 1 වසර වගේ වෙද්දී නැති උනා . කොහොම හරි
    ඔය ආදරේ විඳලා ඇත්තෙම නැහැ ...

    ReplyDelete
    Replies
    1. හ්ම්...ම්ම් හරි ලස්සනයි අයියේ ඒ සිංදුව මට හම්බ උනා යුටියුබ් එකෙන්. මටත් දුකයි ඔයාට ඒ ආදරේ ලබන්න බැරි උන එකට ඔයාගේ ආච්චිලාටත් මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. එයාලා කොහේ හරි හොඳ තැනක හොඳින් සතුටින් ඇති

      Delete
    2. හ්ම්...ම්ම්

      Delete