Sunday, December 28, 2014

ආදරණීය තාත්තාට ලොක්කාගෙන්...

"මේ ගෙවුන අවුරුදු දහතුනටම අපි එකට නත්තල සමරපු අවුරුදු කීයක් තිබ්බද තාත්තා..?"


මම එහෙම ඇහුවේ තාත්තා ඔයාගේ හිත රිද්දන්න නෙමේ.පුංචි මගේ හිතට දැනෙන දේ ඔයාටත් දැනෙන්න ඉඩහරින්න මට ඕනා උනා. 2001 අවුරුද්දේ තාත්තා රට ගියායි පස්සේ ආයේ ආවේ හරියටම අවුරුදු හතරකින්. ඒ කියන්නේ 2005. අපි ඔක්කෝමත් එදා එකට එක පවුලක් වගේ ලස්සනට නත්තල සැමරුවා, ඔව් තාත්ත ඇත්තටම ඒ අවුරුද්දෙ අපි ඔක්කෝටම නත්තල්. ඒ තාත්තත් ගෙදර ආව නිසා. 

"ආයේ අපි එකට නත්තල් සැමරුවේ කවදාද කියලා තාත්තට මතකද..?"

 ඔව් තාත්තා ඒ අවුරුදු දෙකකට පස්සේ. 2007දි. මම සාමාන්‍ය පෙළ කරද්දි ආයේ තාත්තා ලංකාවට ආවේ, අපි කෑවා බිව්වා, පල්ලි ගියා නෑ ගෙවල් වල ගියා සතුටු උනා, ආයේ මාසෙකින් තාත්තා ආයේ ගියා. රට රස්සාව එපා වෙන්නේ නැද්ද කියලා අහන්න දහස් වරක් හිතුනා තාත්තාගෙන් ඒත්, තාත්තා මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන් කියලා දන්න නිසා මම එදා නිශ්ශබ්ද උනා.
කාළය ගෙවුනා, ආයේ තාත්තා ආවා, ඒ ආවේත් නත්තලට 2009 උසස් පෙළට මාස අටයි. නත්තල් සැමරුවා, කෑවා බිව්වා විනොද උනා තාත්තා ආයේ ගියා. කෑගහල අඬන්න හිතුනා ආයේ යන්න එපා තාත්තා කියලා. ඒත් ඒ තරම් බොළඳ වෙන්න බැරි උනා. සමාජෙට හැදි වැඩුන ලොකු කෙල්ලෙක් උනාට ගෙදරට තාම පොඩි එකියක් කියලා කියන්න මටත් අමතක උනා.
උසස්පෙළ ලිව්වා, සතියක් යන්න කලියෙන් තාත්තා ළඟට ආවා මමත්. ඒ ලංකාව එපා වෙලා ඉන්න බැරි නිසා නෙමේ තාත්තා, ඔයා එක්ක කාළය ගෙවන්න ඕනා නිසා. ඒත් ඔයා තෙරුම් ගත්තේ නෑ. මම කියන්න උත්සහ කරෙත් නෑ. කාලය ගෙවුනා අපිටත් නොදැනිම තාත්තා. මේ ගෙවුන පස්වෙනි නත්තල අපි පස් දෙනා සී සීකඩ විසිරිව ගෙවපු. අවුරුදු පහකින් මම ලංකාවේ නත්තලක් දැක්කේනෑ, දකින්න උත්සහ කලෙත් නෑ, උවමනාවක් තිබ්බේත් නෑ. ඒ මේ රටේ නත්තල ලංකාවේ නත්තලට වඩා ලස්සන නිසාද..? මේ රටවල් වල තියෙන නිදහස නිසාද..? නැත් නම් ඒ හැමදේටම වඩා අපිට අපිවම අමතක වෙලාද..?
වටින තෑගි, ලොකූ කෑම මේසේ, රෑ එලි වෙනකම් දාන පාටිය නෙමේ මට වැදගත් උනේ. ගෙදර ඔයලා ඔක්කෝමත් එක්ක එකට ඉන්න. සල්ලි නෙමේ ජීවිතේ කියලා කියන්න හිතුනා, ඒත් වෙනදා වගේම අදත් මම නිශ්ශබ්ද උනා. අපේ ගෙදර අපි ඔක්කෝමත් එකට ඉන්න හැමදාම මට නත්තල් කියලා කියන්න ඕනා උන. ඒත් අහං ඉන්න කෙනෙක් නෑ කියලා හිතෙද්දි මම නිශ්ශබ්ද උනා. 


ඊළඟ අවුරුද්දේවත් අපි ඔක්කෝමත් එකට නත්තල සමරමු.